බටහිර ආසියාවේ සහ මධ්‍යම ආසියාවේ ඉන්දියානු උප මහද්වීපයේ සහ අග්නිදිග ආසියාවේ ගෝමර සිටිබිච්චා (pied bushchat) නම් කුරුළු විශේෂය ජීවත් වන අතර මෙම පක්ෂියාගේ උප විශේෂයන් බොහෝ ප්‍රමාණයක් හඳුනා ගත හැකිය. එයින් saxiacola caprata atratus නම් උප විශේෂය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ තරමක් දුර්ලභ දේශීය පක්ෂියෙකි.
ශ්‍රී ලංකාවේ මු.ම.මී.600 වැඩි ඉහළ කඳුකර ප්‍රදේශ වලදී පමණක් හමුවන මෙම පක්ෂියා හෝර්ටන් තැන්න, නුවර එළිය, හග්ගල ආදී උද්‍යාන වල දී දැකගත හැකිය. ප්‍රමාණයෙන් සෙ.මී.14 ක් පමණ වන පිරිමි පක්ෂියා කළු පැහැ වන අතර ගැහැණු පක්ෂියා දුඹුරු පැහැයක් ගනී. යුවළක් ලෙස එළි පෙදෙසවල සහ පඳුරැ අතර ගැවසෙනු දැකිය හැකි අතර එවන් ස්ථාන වල ඉගිලෙමින් කෘමි සතුන් ගොදුරු කර ගනී. ගෝමර සිටිබිච්චා වසරේ පෙබරවාරි සිට මාර්තු මාස වල තණකොළ පත්‍ර, කුඩා මුල් සහ වෙනත් එවැනි දෑ උපයෝගී කර ගනිමින් කඳු බෑවුමක කෝ කණ්ඩියක් මත මනාව සඟවුනු ස්ථානයක සාදන විවෘත කෝප්පයක හැඩය සහිත කූඩුවක බිත්තර 2ත් 4ත් අතර ප්‍රමාණයක් දමා අභිජනනයේ යෙදේ.